කෝප්‍රල් ගාමිණී කුලරත්න

    Author: Unknown Genre:
    Rating



    අවි අමෝරාගෙන කඳවුර වෙතට ඇදෙන ලේ පිපාසිත ත‍්‍රස්තවාදීන් තවත් මොහොතකින් එලිෆන්ට්පාස් කඳවුර සුනුවිසුනු කරනු නියතය. හමුදාව ආර්.පී.ජී. ගැසුවත් වෙඩි පිට වෙඩි තැබුවත් කොටි ත‍්‍රස්තවාදීන් සමඟින් ඉදිරියට එන අඳුරු කොළ පැහැති යුද ටැංකිය නොනැවතී ඉදිරියටම ඇදේ. යෝධ රකුසු වෙස් ගත් යුද ටැංකිය බුල්ඩෝසරයකි. තහඩු ගසා තුවක්කු සවිකර සකස් කළ එම යුද ටැංකිය පිරී තිබුණේ පුපුරන ද්‍රව්‍යවලිනි. ත‍්‍රස්තවාදීන් මෙසේ පැමිණියේ අලිමංකඩ කඳවුර වනසා එය අත්පත් කර ගැනීමට ය.
    යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ 6 වැනි බලකායේ සේවය කළ ගාමිණී කුලරත්න මේ බියකරු සිද්ධිය සියැසින් දුටුවේ අලිමංකඩ කඳවුරේ ප‍්‍රධාන දොරටුවේ මුර කපොල්ලේ තිබූ බංකරයක සිටය. දිනය වූයේ 1991 ජූලි 14 ය. ගාමිණීට වත් සෙසු සෙබළුන්ටවත් කිසිවක් සිතාගැනීමට කාලය නොමැති විය. කළ හැක්කක් ද ඉතිරි වී නැත. යුද ටැංකිය කඳවුර ආසන්නයට පැමිණ හමාරය. එය තව මොහොතකින් තමාත් තමාගේ සහෝදර සෙබළුන්ගේ මළ කඳන් මතින් කඳවුර ආක‍්‍රමණය කරනු ඇත.
    බෝම්බ දෙකක් දෑතට ගෙන බුල්ඩෝසරයට පැනීමට ගාමිණී සිතුවේ සිදුවීමට යන මහා විනාශය සිහිපත් වීමෙනි. ගාමිණී කොටින්ගේ බුල්ඩෝසරයට ඉදිරියට දිවගියේ කාගේවත් කීමක් නොඅසාමය. එදා ගාමිණී සමඟ කඳවුරේ සිටි බොහෝ දෙනා “ගාමිණී එපා” යැයි හඬ නැඟුව ද ගාමිණී තම රට දැය ආරක්ෂා කිරීමේ උදාරතර මෙහෙය අකුරටම ඉටු කළේය. ලේ පිපාසිත කුරිරු කොටින්ගේ වෙඩි පහරවල් කාගෙනම ගාමිණී දිවගොස් එල්ලුණේ කොටි බුල්ඩෝසරයේ යකඩ ඉණිමඟේය. දෑතේ වූ බෝම්බ දෙක රථයට දමා ගැසීමට තරම් ගාමිණීගේ දෑත් එවෙලෙහි සවිමත් විය. බෝම්බ දෙක පුපුරායාමත් සමඟ ගාමිණී ඉණිමඟෙන් බිමට ඇද වැටිණි.


    ගාමිණී ගේ මෙම ලොමු දැහැගන්වන සුලු වීරකි‍්‍රයාව නිසා එදා අලිමංකඩ කඳවුර සතුරා අතට පත්නොවී ආරක්ෂා විය. සහෝදර සෙබළුන්ගේ ජීවිත ද අනතුරින් ආරක්ෂා විය.
    රට දැය වෙනුවෙන් තම දිවියේදී කළ හැකි උපරිම මෙහෙය ඉටුකිරීමට සමත් වූ හසලක ගාමිණීගේ වීර කි‍්‍රයාව අගයනු වස් හමුදා භටයකුට ලද හැකි ඉහළම ගෞරව සම්මානයෙන් ඔහු පිදුම් ලද්දේය. ඒ ‘පරම වීර විභූෂණ’ සම්මානයෙනි. රට දැය වෙනුවෙන් එදා ඒ කළ මෙහෙය අගයා ගාමිණී ගේ නිලය ‘කෝප‍්‍රල්’ දක්වා උසස් කෙරිණි. ඔහුගේ මරණින් පසුව ඔහු අගයා බොහෝ තැන්වල බොහෝ දේ සිදුවිය. ගාමිණී රණවිරුවා රට වෙනුවෙන් දිවි කැපකොට වසර 10 ක් පිරීම නිමිත්තෙන් ඔහුගේ රුව සහිත මුද්දරයක් ද නිකුත් වුයේ හසලක ගාමිණී රටදැය වෙනුවෙන් කැපවුණු වීරයකු බව කියා පෑමටය. එසේ ම ඔහු උපන් ගමේ ඔහුගේ පිළිරුවක්ද ඉදිවූයේ ඔහුගේ ඒ උතුම් කි‍්‍රයාව අගයනු සඳහාම ය.
    1991 ජූලි මස 10 වැනිදා ඇවිලුනු අලිමංකඩ සටන හමාර වූයේ 1991 අගෝස්තු 04 වන දාය. ඒ වකවානුවේදී ත‍්‍රස්තවාදින්ගෙන් වැඩිම ප‍්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත් වුයේ මෙම අලිමංකඩ සටනේදීය. මෙම සටනේදී හමුදාවේ දිවි පිදූ රණවිරුවන් අතර මේජර් ලලිත් බුද්ධදාස ද විය.
    එක් උදාරතර පරමාර්ථයක් උදෙසා තම දිවි දෙවෙනිකොට, සිදුවීමට ගිය මහා විනාශයක් වළකා ගැනීමට එදා හසලක ගාමිණී කුලරත්න රණවිරුවා සමත්විය. එම වීරෝධාර රණ පුත‍්‍රයා තම දිවිය රටක් වෙනුවෙන් පුදා ඉතිහාස පොතට එක් වුයේ රන් අකුරිනි. දෑහිතකාමී, රණකාමී රණවිරුවන්ගේ වීර්ය පාරමිතාවේ එක් සුවිශේෂ සන්ධිස්ථානයක් එසේ රන් අකුරින් ඉතිහාස පොතට එක් වූයේ රට දැය වෙනුවෙන් දැයෙන් සමුගත් හසලක ගාමිණී විරුවා නමිනි.

    සිළුමිණ ඇසුරෙන්

    Leave a Reply